ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

November 7, 2022   07:56 am

ගෑස් සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගික ජනතාවට දැනුම්දෙයි.

ගෑස් හිඟයක් මවා පෑමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් ගෑස් තොග සඟවා තැබීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

ඊයේ (06) දිනයේ සහ අද (07) දිනයේ දී ගෑස් නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත අතර හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම් කටයුතු සිදුකරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද දෙරණ සමග සඳහන් කළේය.

"ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට අපිට වගකීමෙන් කියන්න පුළුවන් අපිට එනවා එක නැවක්. ධාරිතාවය මෙක්ට්‍රික් ටොන්  3,750ක නැවක්. ඒ වගේම අද පාන්දර එනවා එක නැවක්. ඒ වගේම සඳුදා හවස තව නැවක් එන්න යෝජිතයි. ඒ වගේ නැව් තුනක් විතර එන්න යෝජිතයි. අපි සුපුරුදු පරිදි වෙළෙඳපොළට නිකුත් කරනවා. මම හිතන්නේ 25,000කට ආසන්න ප්‍රමාණයක් සිලින්ඩර නිකුත් කරනවා. අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ අඟහරුවාදා උදේ වෙනකොට සිලින්ඩර 120,000ක් අපි වෙළෙඳපොළට නිකුත් කරන්න."

මේ අතර ත්‍රිරෝද රථ සඳහා වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද දිනයේ සිට ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ සඳහා අද දිනයේ සිට ලීටර් 10ක් ලබාදීමට නියමිතය.

මීට පෙර ත්‍රිරෝද රථ සඳහා ලීටර් පහක ඉන්ධන කෝටාවක් ලබාදීමට පියවර ගෙන තිබුණි.

මේ අතර වෘත්තීය ත්‍රිරෝද රථ හිමියන්ගේ සත්‍ය වු හඬ සංවිධානයේ කැදවුම්කරු රෝහණ පෙරේරා මහතා වැඩි වු ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වීම අනිවාර්යය බව සඳහන් කළේය.