පාසල් පෙළ පොත් ගැන රජය ගත් තීරණය

පාසල් පෙළ පොත් ගැන රජය ගත් තීරණය

August 31, 2022   07:30 am

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2023 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 16,483ක් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාසල් පෙළ පොත් මුද්‍රණයට මෙන් ම විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට හා පිළිතුරු ලිවීම ආදියට අවශ්‍ය වන කඩදාසි හා ලිපිද්‍රව්‍ය ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කෙරෙන බව සඳහන්ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල කඩදාසි අවශ්‍යතා ද මෙමගින් ම සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුළු පෙළ පොත් පිටපත් ප්‍රමාණයෙන් සියයට 45ක් මුද්‍රණය කරවාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව මුද්‍රණ සංස්ථාවට ලබා දුන් සියයට 45ක් අතිරේක ව ඉතිරි පෙළ පොත් සියයට 55ක් සඳහා ප්‍රසම්පාදන පටිපාටිය යටතේ තෝරාගෙන ඇති පෞද්ගලික මුද්‍රණකරුවන් සඳහා ද ඔවුන්ගේ ඉල්ලීම අනුව මුද්‍රණ කඩදාසි අවශ්‍යතා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.