මට අවශ්‍ය පෙරළියක් - රනිල්

මට අවශ්‍ය පෙරළියක් - රනිල්

September 13, 2024   01:57 pm

අසීරු අවස්ථාවේදී රට භාරගැනීම ප්‍රතික්ෂේප කළ අය, ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබාදෙමින් සිටින බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවැති "පුළුවන් පෙරළිය" වැඩසටහන අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කෙරුණු 'පුළුවන් පෙරළිය' වැඩසටහන ඊයේ (12) කොළඹදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 

"මේ මැතිවරණය ඔබේ අනාගතය පිළිබඳ කාරණාවක්. මගේ නොවෙයි."

"අපේ සිස්ටම් එක කඩා වැටිලා... රජය භාරගන්න කවුරුත් හිටියේ නැහැ. මොකක්ද ඒකෙන් තේරුම් යන්නේ ?.. නායකයින්ට ඔබේ අනාගතය ගැන වගකීමක් භාරගන්න පැවැති නොහැකියාව. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔහු ලබාදෙන දේ දිනපතා වෙනස් කරනවා. මෙච්චර කල් ඔහු නිකං දෙන්න පොරොන්දු වුණේ නැත්තේ හිසරදය විතරයි. ළගදීම ඔහු එයත් පිරිනමයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය... ඔවුන් දන්නේ නැහැ."

"කොහොමද ඔබ ඔවුන්ට ඡන්දය දෙන්නේ ?. ඔබලා කීදෙනෙක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා තියෙනවද ? ඒකේ පිටු 232කම ඔබ කියෙව්වද ? මමත් සම්පූර්ණ රාත්‍රීයක් ගත කළා ඒක කියවන්න. මට පස් වතාවක් නින්ද යන්න ආවා. ඒත් නැවත නැගිට කියෙව්වා. මට අවශ්‍ය නැහැ වෙනසක්. මට අවශ්‍ය ඔබලා මෙහි කිව්වා වගේ පෙරළියක්. මගේ මුහුණ වෙනස් කරලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ මුහුණ ඊට ඇතුළත් කරනවා. එයයි ඔවුන් කියන්නේ."