දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු

දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු

September 28, 2021   04:28 pm

"දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු" තේමාව කරගනිමින් ලෝක ජලභීතිකා දිනය අද (28) දිනයේ දී සැමරෙයි. 

ජලභීතිකාව, බෝවන වෛරස් රෝගයක් බැවින් වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටයෙන් පිටවන වෛරසය තවත් සතෙකුට මෙන්ම මිනිසාට ද ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වේ.

සපාකෑම්, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන් වෛරසය ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්. ඩී. කිත්සිරි මහතා පවසයි. 

ජලභීතිකාව මිනිසාට සම්ප්‍රේෂණය වන ප්‍රධාන වාහකයා සුනඛයා බැවින් කඩිනම් සහ ඵලදායී එන්නත් මගින් රෝගය වළක්වාගත හැකි වුවද රෝග ලක්ෂණ පහළ වූ පසු ජලභීතිකා රෝගය සතුන්ට මෙන්ම මිනිසුන්ට ද මාරාන්තික විය හැක.

සැක සහිත සතෙකු සපාකෑ ස්ථානය ගලායන ජලයෙන් විනාඩි 10ක් සෝදා රෝහල්ගත කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ‍ය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට අනුව සුනඛ සපා කෑමෙන් සිදුවන මරණ 2025 වසර වන විට ශ්‍රී ලංකාවෙන් තුරන්කළ හැකි බව වෛද්‍ය කිත්සිරි මහතා පෙන්වාදෙයි. 

ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 300,000 ත් 350,000 ත් අතර සංඛ්‍යාවක් සුනඛ සපා කෑමෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමුවන අතර ජලභීතීකා මර්දන කටයුතු සඳහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 600කට අධිකය.

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නම් සුනඛයින්ගෙන් 70%කට ජලභීතිකා රෝගයට එරෙහි එන්නත්දීම කළයුතුය.