පුත්තලමේ දස හැවිරිදි දැරියගේ මරණය ගැන පොලීසියට සැකයක්

පුත්තලමේ දස හැවිරිදි දැරියගේ මරණය ගැන පොලීසියට සැකයක්

July 17, 2020   11:04 am

දස හැවිරිදි දැරියකගේ හදිසි මරණය සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දැරියට සර්පයෙකු දෂ්ඨ කළේ යැයි පවසමින් ඇයගේ මව,  එම දැරිය ඊයේ (16) උදෑසන පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් දැරිය මියගොස් සිටි බව පොලීසිය පැවසීය.

මරණය සම්බන්ධයෙන් පුත්තලම රෝහල විසින් පොලීසියට දැන්වීමෙන් අනතුරු ව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම දැරියගේ මව පුත්තලම, කුරුණෑගල මාර්ගයේ, ආසිරිගම ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක සේවය කරමින් සිට ඇති බව අනාවරණය වී ඇත.

මියගිය දැරිය සමග තවත් ඇගේ කුඩා සොහොයුරන් දෙදෙන් ද සිට ඇති අතර, දැරියගේ 17 හැවිරිදි සොහොයුරිය විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි ව සිටී.

පොලිස් නිලධාරීන් මරණයට පත් දැරිය ජීවිත් ව සිටි ස්ථානයේ සිදුකළ පරීක්ෂණවල දී නිවස ආසන්නයේ වළ දමා තිබු, ලේ තැවුරුණු ඇඳුම් කිහිපයක් ද සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) දින සිදුකිරීමට නියමිත අතර, අප කළ විමසීමක දී පුත්තලම පොලීසියේ ස්ථානාධිපතිවරයා පවසා සිටියේ, එම වාර්තා ලැබීමෙන් අනතුරු ව තවදුරටත් පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.