කදුරුවෙලට ගිය තරුව

කදුරුවෙලට ගිය තරුව

September 13, 2024   08:20 pm

මෙවර මැතිවරණයේ දී ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සියලුදෙනා බලාපොරොත්තු වන වෙනස ඇති කර ගත යුතු බව සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

'දිලිත් ගමට' ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් අද (13) පස්වරුවේ පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම්පොළ අසලදී පැවැත් වුණි.

එම අවස්ථාවට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, හැමදාම ජනතාව රවට්ටමින් සිටින පාලකයින්ව එළවා දමා තරුවේ දේශපාලනයට සියල්ලන්ගේම මනාපය ලබාදිය යුතු බවය.

"අනුර කුමාර අද නියෝජනය කරන්නේ, ඔබ සමහර දෙනා මේ ක්‍රමයට විරුද්ධ වෙන්න ඕනෑයි කියන අන්න ඒ අභිලාෂයයි. මේ ක්‍රමයේ පට්ට පල් වුණු ආණ්ඩු මම දැනුවත්ව චන්ද්‍රිකා එක්ක ආණ්ඩු කළා, මහින්ද මහත්තයා ගේන්න ගෙයින් ගෙට බුලත් අරන් ගියා, ඊළඟට මහින්ද මහත්තයා ගෙදර එළවන්න කියලා ෆොන්සේකාත් එක්ක රනිල් මහත්තයා එක්ක නැග්ගා වේදිකාවට. ඊට පස්සේ මේ ප්‍රදේශයෙන් ආපු ජනාධිපතිතුමාව බලයට ගේන්නත් මෙතුමා කොහොම හරි ඒ වැඩේ කරලා අගමැතිතුමා එක්ක සෙට් වෙලා ලංකාවේ හිටපු ව්‍යවසායකින් 700ක් විතර කැලෑ පොලීසියක් හදලා FCID කියලා ඒකේ ලොක්කා වෙලා එතුමා ඒ ආණ්ඩුවෙත් හිටියා. නොහිටපු ආණ්ඩුවක් කියන්න. කොහොම වුණත් මෙන්න මේ ව්‍යාජ මිත්‍යාව පස්සේ අද ජනතාව දක්කාගෙන යනවා. මේ ලැබී ඇති අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක්. කවදාවත් ඉතිහාසයේ නොලැබුණු අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරගෙන ඔබ බලාපොරොත්තු වෙන වෙනස ඇති කරගන්නට කටයුතු කරන්නැයි මම ඉල්ලා සිටිනවා. මේ පොළොන්නරුවේ 21 වනදා රෑට තරුවක් පායනවා. ඔබයි ඒ තරුව. මේ රටේ සැබෑ තරුව ඔබයි. ඔබව හැමදාම රවට්ටන්න, ඔවුන් තරු වෙන්න උත්සාහ කරන හොරු ඔක්කෝම එළවන, ඔබ තරුව වෙන, මේ තරුවේ දේශපාලනය තරුවට කතිරය ගසා ජයග්‍රහණය ප්‍රාර්ථනය කරන්න. ඔබ සියලුදෙනාටම සතුටු විය හැකි සතුටු දැයක් නිර්මාණය වේවා."