දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයෙන් ලංකාවට රන් සහ රිදී පදක්කම්

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයෙන් ලංකාවට රන් සහ රිදී පදක්කම්

September 13, 2024   08:47 pm

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 සහ රිදි පදක්කම් 01 දිනා ගැනීමට සමත්ව තිබේ.

එම තරගයේ පිරිමි මීටර 100  හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ තත්පර 40. 28කින් ඉසව්ව නිම කරමිනි.

එමෙන්ම පිරිමි මීටර 400x4 සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද ඊයේ පැවැත්වුණු අතර එයින්ද රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එම තරගයේ පළමු මීටර 400 අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වූ අතර දෙවන හා තෙවන මිටර 400යේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරට කර සටනක් පැවැතුණි. 

අවසන් මීටර 400 දී යශ්ටිය භාරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඉන්දීය ක්‍රීඩකයා අභිබවමින් සුපිරි ධාවනය යෙදෙමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට සමත් විය. 

මෙහිදී ශ්‍රී ලංකාවේ තරග නිම කාලය දැක්වුණේ විනාඩි 3යි තත්පර 9.27ක් ලෙසයි.

මේ අතර මෙම තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ද රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එම තරගයේදී හසිත දිසානායක රන් පදක්කමක් දිනා ගත් අතර එහි රිදී පදක්කම සෙනුර හසන්ක දිනා ගනු ලැබීය.