ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු අඩාලවෙයි

ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු අඩාලවෙයි

March 28, 2020   07:09 pm

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදුකිරීම දුෂ්කර වී තිබේ.

ඇඳිරි නීතිය පැවතුණ ද ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු, පලතුරු ආදි භාණ්ඩ රටපුරා බෙදාහැරීමට රජය නිර්නායක කිහිපයක් හඳුන්වා තිබුණ ද ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අද දිනයේ ද, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් දුෂ්කරතාවට පත් වූ බව වාර්තා වෙයි.

දඹුල්ල, මීගොඩ  ආර්ථික මධ්‍යස්ථානවලට සහ මැනිං වෙළෙදපලට  එළවළු මිලදී ගැනීම සදහා තොග වෙළෙදුන් නොපැමිණීම හේතුවෙන් එලවළු මිල ශිඝ්‍ර වශයෙන් පහත බැස තිබේ.

මේ අතර එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවසර පත්‍ර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පොලීසියට උපදෙස් ලබා දී තිබුණි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින් ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.