දෙසැම්බර් හා ජනවාරි මාසවලදි  සුළි සුළං ඇති වීමේ අවදානමක්

දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වීමේ අවදානමක්

December 12, 2025   07:43 pm

ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) ප්‍රකාශ කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බවය.

එහිදී උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාවක් පැවතිය හැකි බවද සඳහන් වේ.

බටහිර හා දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බවද එම දත්ත අනුව පුරෝකතනය කර ඇත.

කෙසේ වෙතත් ජනරාල්වරයා සඳහන් කර සිටියේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින අතර එසේ සිදු වුවහොත් මෙම කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බවය.