දිවංගත රත්නසිරි වික්‍රමනායකගේ නිවසක් කොරෝනා ආසාදිතයින් නිරෝදායනයට

දිවංගත රත්නසිරි වික්‍රමනායකගේ නිවසක් කොරෝනා ආසාදිතයින් නිරෝදායනයට

March 23, 2020   08:19 pm

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතා ජීවත්ව සිටියදී භාවිත කළ හොරණ ප්‍රදේශයේ පිහිටි නිවස කොරෝනා ආසාදිතයින් නිරෝදායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.

මේ අතර විෂබීජහරණය සඳහා භාවිත කරන රසායනික දියරය මෙරට තුළදීම නිෂ්පාදනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව අද එම දියරය පොලිස් ස්ථාන , ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හා ආගමික ස්ථානවෙත නොමිලේ බෙදාදීම එම සංස්ථාවේදී සිදුකෙරුණි.

මේ අතර හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා රෝගය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන රෝහලක් බවට පත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දීම අද සිදුකෙරුණි.

කරවනැල්ල වැන්දල ශ්‍රී සුගත විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති කෝරල තුන පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හාලිආලේ අරියංවශ හිමිගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පුද්ගලයින් 1500කට පමණ නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා රජයට ලබාදීමට තමන් වහන්සේ සූදානම් බව එම හිමියන් අද පැවසුවේය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක අද දිනයේදී විෂබීජ හරණය සිදුකෙරුණි.‍

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකද අද දිනයේදී විෂබීජහරණ කටයුතු සිදුකෙරුණි.

දිවයිනේ තවත් ප්‍රදේශ රැසක විෂබීජහරණ කටයුතු සිදුකෙරුණි.