Travel advisories ගැන රජයෙන් ප්‍රකාශයක් 

Travel advisories ගැන රජයෙන් ප්‍රකාශයක් 

October 24, 2024   04:44 pm

මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එබැවින් ඉදිරි දින දෙක තුනකින් විදෙස් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති අවවාදාත්මක සංචාරක උපදේශන ඉවත් කර ගනිතැයි රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

අරුගම්බේ ප්‍රදේශයේ වෙසෙන විදෙස් ජාතිකයින් ඉලක්කර ප්‍රහාරයක් එල්ලවිය හැකි බව පවසමින් අමෙරිකාව ඊයේ (23) සංචාරක උපදේශනයක් නිකුත්කළ අතර පසුව බ්‍රිතාන්‍ය, රුසියාව, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ද සිය සංචාරකයින් වෙනුවෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කළේය.     

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, 

"තව දින කිහිපයක් තුළ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරනවා. එවිට විදෙස් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්ම නිවේදන ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමකට පත්වෙලා තිබෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා තමන්ගේ රටේ පුරවැසියන් සංචාර සඳහා මෙරටට එවන්න. සංචාරකයින්ගේ පැමිණීමේ නැවතීමක් සිදුවෙලා නැහැ. පැමිණිලා ඉන්න අයත් නිදහස්ව කටයුතු කරගෙන යනවා. විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි උපරිම පියවර අරන් තියෙනවා. හෝටල් ආශ්‍රිතවත් සංචාරක අධිකාරිය හරහාත් ඔවුන්ව දැනුවත් කරලා තියෙනවා. පොලීසිය, ත්‍රිවිධ හමුදාව අදාළ පියවර අරන් තියෙනවා. ඒ නිසා නිදහසේ සංචාරය කරන්න පුළුවන්. දවස් දෙකකින් තුනකින් ඒ ඒ රටවල් පනවලා තියෙන අවවාදාත්මක තත්ත්වයන් ඉවත් කරගන්න පුළුවන්."