සෑම 4දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

සෑම 4දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

October 24, 2024   05:41 pm

මෙරට තුළ සිටින සෑම වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින බව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය. 

ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමය නියෝජනය කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මන්දික විජේරත්න මහතා සඳහන් කළේ, මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී ඒ බව අනාවරණ වී ඇති බවය.

දියවැඩියාව රෝගීන් වැඩිම පිරිසක් කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තාවී තිබේ.

දියවැඩියාව යනු රුධිරගත සීනි, නියමිත සීමාව ඉක්මවා පාලනයකින් තොරව ඉහළයාම මත ඇති වන රෝගී තත්ත්වයකි.

එහි ප්‍රතිඵල ලෙස රුධිරනාලවලට හානිවීම, වකුගඩු, ඇස්, ස්නායු පද්ධතියට හානිකර බලපෑම් එල්ල කිරීම ආදියෙන් නොනැවතී මරණීය ප්‍රතිවිපාක ද ඇති කළ හැකිය. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය මන්දික විජයරත්න,

"හඳුනාගෙන තියෙනවා වයස 40ට එහා හැම හතරදෙනාගෙන් එක්කෙනෙකුටම දියවැඩියාව තියෙනවා. කොළඹ , යාපනය 33% තියෙනවා. ඒ කියන්නේ තුන්දෙනෙක්ගෙන එක් අයෙකුට මේක. බොහොම භයානය තත්ත්වයක්. දියවැඩියාව කාලයක් තියෙනකොට යටිපතුල්වල ඇඟිලිවල හිරිවැටීම දැනීම තමයි නැතිවෙන්නේ. එතනින් එහා තමයි කකුල්වල තුවාල ඇති වෙන්නේ. තුවාල නිසා කකුල් අහිමිවීම පටන් ගන්නේ එතැනින්. "

දියවැඩියා රෝගී තත්ත්වයට බලපාන හේතු පිළිබඳව සහ රෝග ලක්ෂණ පිළිබඳව ඔබ දැනුම්වත්නම් දියවැඩියාවෙන් වැළකී සිටීමට ඔබට හැකි වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණූකා ජයතිස්ස මහත්මිය,

"සාමාන්‍යයෙන් ආහාර වේලක් අරගෙන ඊට පස්සේ සීනී කැමක් කනවා. ඒවාගේ එකක් දියවැඩියා රෝගියෙකුට ගැලපෙන්නේ නෑ. අති විශාල ප්‍රමාණයේ බත් පිඟානක් කැවොත් ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා. පොල් කිරි සහ පොල් සම්බෝල වැඩිපුර කන නිසා පොල් තෙල් භාවිතය අවම කරන එක තමය වැදගත් වෙන්නේ. සංතෘප්ත මේදය කියන එකෙන් තමයි අපේ රුධිරවාහිනිවල අවහිරතා ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩි වෙන්නේ. ගැඹුරු තෙලේ බැදපු කෑම ඒ වගේ තෙල් භාවිතය තියෙන කෑම අවම කිරීම තමයි අපිට හෘද රෝග සහ අනෙකුත් නිදන්ගත රෝගවලින් වැළකීමට තිබෙන ප්‍රතිකාරය කියලා අපි කියන්නේ."

ඔබගේ වෛද්‍යවරයා ඔබට දියවැඩියව වැළඳී ඇති බවට තහවුරු කර තිබේ නම් අනිවාර්යයෙන්ම ආහාර පාලනය සහ නිර්දේශිත ඖෂධ ලබා ගතයුතු බව දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය චතුරි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (24) පැවති Big Focus වැඩසටහනේදීය.

එහිදී ඇය සඳහන් කළේ ඇතැම් දියවැඩියාව රෝගීන් සඳහා ලබාදෙන Metformin නම් ඖෂධයෙන් අතුරු ආබාධ ඇතිවන බවට රෝගීන් බියක් දක්වන බවය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඇය පැවසුවේ, අතුරු ආබාධ ඇති වන්නේ ඖෂධ නිවැරදිව ලබානොගැනීමෙන් බවය.

"ඔබගේ වෛද්‍යවරයා ඔබට දියවැඩියාව තිබෙන බවට තහවුරු කළ පසු ඔබ අනිවාර්යයෙන්ම ආහාර පාලනය කළ යුතුයි. ඒ වගේම ඖෂධ ලබාදෙනවා. ඒවා භාවිත කළාම මගේ වකුගඩු නරක් වෙයි ද? මට වෙන අතුරු ආබාධ ඇති වෙයි ද ? කියලා හිතනවා. එහෙම වෙන්නේ නෑ. දියවැඩියාව වැඩි වුණාම තමා සංකූලතා ඇති වෙන්නේ."