දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 4ට විවෘත කරයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 4ට විවෘත කරයි

March 23, 2020   12:16 am

දැනට පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරිමට අදාල මාධ්‍ය නිවේදනය ඊයේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ අතර එහි වැඩිදුරටත් සදහන් කර තිබුණේ ඇදිරි නීතිය බලපැවැත්වෙන තත්වය යටතේ වුවද ගොවිතැන් කටයුතු සිදුකෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යෑමට රජය පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව රජරට ඇතුළු ගොවි ජනපද වල ඊයේ (22) දිනයේ ගොවීන් සිය දෛනික කාර්යයන් වල නිරත වන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන්ද සිය වගාබිම් වලදී බිම් සැකසීම ඇතුළු වගා කටයුතු වල නිරතව සිටින ආකාරය දක්නට ලැබුණි.

පවතින තත්වය හමුවේ හිඟයකින් තොරව සහල් සැපයීමට පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ  පැවැත්වුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේද සහභාගිත්වයෙන්.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (22) පැමිණි එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා එහි නිලධාරීන් හා වෙළදුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.

ඇදිරි නීතිය හේතුවෙන් දැනට වසාදමා ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට අලුයම 4ට විවෘත කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ප්‍රකාශ කළේය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ප්‍රවාහනයට ලද අවසරය මත තොග වෙළෙන්දන් එළවළු එක්රැස්කිරීම සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ප්‍රවාහනය කරන ආකාරයද අද සාමාන්‍ය පරිදි සිදු විය.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ වසා දැමුණු කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ඊයේ නැවත ආරම්භ කෙරුණි.
         
මේ අතර අද (23)  සිට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට සමූපකාර ප්‍රාදේශිය අලෙවිසැල් මඟින් තමන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවති.
      
ඒ අනුව 0763769035 හෝ 0710402905 යන දුරකථන අංකවලට ඇමතීමෙන් එම කටයුත්ත ඉටුකරගැනීමට එම ජනතාවට අවස්ථාව සලසා දී තිබේ