අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4,292ක්
August 10, 2026 09:31 am
වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාසික දත්ත සලකා බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි.
ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක්, මැයි මාසයේදී 8,590ක්, ජනවාරි මාසයේදී 7,866ක්, මාර්තු මාසයේදී 6,013ක්, පෙබරවාරි මාසයේදී 5,721ක් සහ අප්‍රේල් මාසයේදී 5,651ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති.
අගෝස්තු මාසයේ මුල් දින නවය තුළ පමණක් රෝගීන් 4,292 දෙනෙකු හඳුනාගෙන තිබේ.
දිවයිනේ පළාත් අතරින් වැඩිම බලපෑමක් බස්නාහිර පළාතට එල්ල වී ඇති අතර ඉන් සමස්ත රෝගීන්ගෙන් සියයට 52.93ක් එනම් රෝගීන් 47,445 දෙනෙකු වාර්තා වී තිබේ.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,302ක්, මධ්‍යම පළාතෙන් 7,971ක්, සබරගමුව පළාතෙන් 7,383ක්, වයඹ පළාතෙන් 4,465ක්, නැගෙනහිර පළාතෙන් 3,703ක්, ඌව පළාතෙන් 2,482ක්, උතුරු මැද පළාතෙන් 1,574ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 1,314ක් ලෙස වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් සියයට 21.27කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,765ක්, මහනුවරින් 6,366ක්, මාතරින් 5,953ක්, කළුතරින් 5,841ක්, ගාල්ලෙන් 4,936ක්, රත්නපුරයෙන් 4,860ක් සහ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 3,613ක් වාර්තා වී තිබේ.
මේ වන විට මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් ව ඇති අතර තවදුරටත් දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 119ක් හඳුනාගෙන ඇත.
