අගෝස්තුවේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ
August 4, 2026 06:25 am
අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.
අද සිට ලබන 7 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
අද දිනයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිගේ වැටුප් නිශ්චය කිරීම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
හෙට (05) දිනයේ දී ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩෝලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
බ්‍රහස්පතින්දා දිනයේ දී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
ලබන සිකුරාදා දිනයේ දී පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර අධිකරණ ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය විසින් අද දිනයේ දී කථානායකවරයාට යෝජනාවක් භාරදීමට නියමිත බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අදාළ යෝජනාවට ඊයේ (03) දිනයේ දී අත්සන් තබා ඇති අතර එයට විපක්ෂයේ අනෙක් පක්ෂවල සහය ද ලබා ගැනීමට නියමිතව තිබේ.
අධිකරණවල නඩු කටයුතු ගොඩගැසීම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, බන්ධනාගාරවල පවතින තදබදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
