අයහපත් කාලගුණය මැද උසස් පෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
August 4, 2026 05:51 am
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විභාග කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
"උසස් පෙළ විභාගය සමඟ ඒ කාලයට ඇතිවෙන දේවල් ගැන කතා කරන්න අපි විභාග දෙපාර්තමේන්තුවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 5 වැනිදා හමුවක් සුදානම් කරලා තියෙනවා. එතැනදී අපි සුදානම් වෙනවා කොහොමද ඒකට මුහුණදෙන්නේ කියලා. අපි ගත්තොත් අගෝස්තු මාසය වැසි අඩු කාලයක්. නමුත් මෝසම සක්‍රීය වීම සමඟ මේක තාවකාලික සිදුවීමක්. ඒ එක්කම 6,7, සහ 8 දිනවලින් පස්සේ තරමක් දුරට වැස්ස අඩුවේවි. කොහොමත් විභාගය තියෙන්නේ 10න් පස්සේ ඒ වෙද්දි මේ බලපෑම ගොඩක් අඩුයි."
ලබන 6 වන දිනෙන් පසු පැසිෆික් මුහුදු කලාපයේ ඇති සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙරට වර්ෂාපතනයේ යම් වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
