විගණනයෙන් හෙළි වූ පසුගිය කාලයේ ජල සම්පාදනයේ වැඩ
July 14, 2026 06:17 pm
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කර පසුගිය 2024 වර්ෂය වන විට වසර 49ක් ඉක්මවා තිබුණද එහි ප්‍රධාන ආදායම් මාර්ගය වන ජල ගාස්තු කාලානූරුපව සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කර නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.
ඒ අනුව ජල ගාස්තු ප්‍රතිපත්තියක් නොමැතිව 1990 වසරේ සිට අවස්ථා 17කදි විවිධ ගාස්තු යටතේ ජල ගාස්තු සංශෝධනය කර ඇති බවත් පෙන්වා දී ඇති විගණන වාර්තාව එහිදී 2022 සහ 2023 වසරවල සිදුකරන ලද ජල ගාස්තු සංශෝධන මගින් රටේ පැවැති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජල පාරිභෝගිකයින් මහත් අපසුතාවට පත්වන සේ අසාමාන්‍ය ලෙස ගාස්තු ඉහළ දමා ඇති බවත් නිරීක්ෂණය වී ඇති බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම පසුගිය 2022 සැප්තැම්බර් 01 වැනි සිට 2023 අගෝස්තු 01 දින දක්වා කාලය තුළ පමණක් ජල ගාස්තු 2012 වර්ෂයේ පැවැති මිලට සාපේක්ෂව 70%කින් සහ 100%කින් ඉහළ නංවා ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙලෙස ඉහළ ප්‍රතිශතයකින් ජල ගාස්තු සංශෝධනයක් කිරීමට හේතුව වී ඇත්තේ බැංකු පොලී අනුපාතයන් ඉහළ යාම, විදුලි ගාස්තු, ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවී තිබූ බව මණ්ඩලය විසින් හඳුනාගෙන තිබුණද මිනිස්බල පිරිවැය ඉහළ යාම, ව්‍යාපෘති ප්‍රමාද වීම මත ජල සැපයුම් ඉලක්කගත කාලය තුළ සිදුකරගත නොහැකි වීම තුළින් ආදායම් අහිමි වීම හා ව්‍යාපෘති පිරිවැය ඉහළ යාම, ආදායම් නොලබන ජල අනුපාතය ඉහළ ප්‍රතිශතයක් ගැනීම සහ බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද වීම යන කළමනාකරණ දුර්වලතාද බලපා ඇති බවද විගණන නිරීක්ෂණයෙන් හෙළිව තිබේ.
තවද විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි එම ව්‍යාපෘති නිම නොකිරීම තුළින් අපේක්ෂිත ආදායම් ළඟා කර ගැනීමට නොහැකි වී ඇතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කර තිබූ "සැමට ජලය" වැඩසටහන යටතේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන උප ව්‍යාපෘති 106ක ප්‍රගතිය ඉතා පහළ මට්ටමක පවතින බවද විගණන පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව පසුගිය 2024 වර්ෂය වන විට අපේක්ෂිත පරිදි ජල සැපයුම් සම්බන්ධතා 1,316,542ක් ලබා දීමට නොහැකි වී ඇතැයිද මෙමගින් පාරිභෝගික අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම තුළින් මණ්ඩලයට ලැබිය යුතු ආදායම අහිමිවීම සහ ජල ගාස්තු ඉහළ යාම තුළින් ජල පාරිභෝගිකයින් වෙත බලපෑම් එල්ල විය හැකි බවත් විගනණ දෙපාර්තමේන්තුව වෙත නිරීක්ෂණය වී ඇති බවත් සඳහන් කර ඇත.
මේ අතර පසුගිය 2022 සහ 2023 වර්ෂවල සිදුකරන ලද ජල ගාස්තු සංශෝධන තුළින් ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ වැඩිම පාරිභෝගික කණ්ඩායමක් වන ඒකක 6-10, ඒකක 11-15 හා 21-25 අතර පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ ජල බිල්පත් 310%, 319%කින් හා 218%කින් ඉහළ නංවා ඇති බවත් එය පාරිභෝගිකයින්ට අතිශය ඉහළ බලපෑමක් එල්ල කර ඇති බවත් නිරීක්ෂණය වී ඇතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම මණ්ඩලයේ සේවක පිරිසේ පිරිවැය ජල බිල්පත කෙරෙහි සෘජු බලපෑමක් සිදුකර ඇති බවත් එය මෙහෙයුම් පිරිවැයෙන් 36%ක (වර්ෂ 6ක සාමාන්‍යය) පමණ ප්‍රතිශතයක් නියෝජනය කරන බවටත් නිරීක්ෂණය වී තිබේ.
තවද මණ්ඩලය අලාභ ලබමින් ක්‍රියාත්මක වී නියැදි පරීක්ෂාවට භාජනය වූ 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී මණ්ඩලීය අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම නියමිත කාලය තුළ නිමකර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින ජනතාව වෙත අවශ්‍ය සේවාව ලබා දීමට නොහැකිව තිබියදී ජල සම්පාදන මණ්ඩලය විසින් වාර්ෂික ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ගෙවා ඇති බවත් 2023 වසරේදී ඒ සඳහා පමණක් රුපියල් මිලියන 894ක් වැය කර ඇති බවත් විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබේ.
එමෙන්ම මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 2019 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ 1,254කින් එනම් 12.89%කින් අඩු වී තිබියදී එක් සේවකයෙකු වෙනුවෙන් දරන පිරිවැය 26.67% කින් වැඩි වී ඇතැයිද විගණන වාර්තාව මගින් වැඩිදුරටත් හෙළිදරව් කර තිබේ.
එම සම්පූර්ණ විගණන වාර්තාව පහතින්,
Water Board SPECIAL REPORT FINAL 2026.05.12 With Annexture 1 by poornima
