ඉන්දීයානුවන්ගේ 'Destination Wedding'වල ප්‍රමුඛතම තේරීමක් ලෙස ලංකාව ඉදිරියට
July 14, 2026 06:04 pm
විවාහ වීමට සූදානමින් සිටින ඉන්දීයානුවන් සිය විවාහ මංගල්‍යයන් විදේශ රටවල පැවැත්වීම සඳහා තෝරාගන්නා ස්ථානය ලැයිස්තුවේ, ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ඉහළට පැමිණෙමින් ඇති ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්ව ඇතැයි ඉන්දීය විවාහ සැලසුම්කරණ ආයතනයක් වන WedMeGood ආයතනය නිකුත් කළ "Destination Wedding Report 2026" වර්තාවේ දැක්වේ.
මෙම වාර්තාවට අනුව, ඉන්දීය යුවළ අතර සාම්ප්‍රදායික මහා පරිමාණ මංගල උත්සව වෙනුවට සමීපතමයන් පමණක් සහභාගී වන අත්දැකීම් බහුල විවාහ මංගල්‍යයන් පැවැත්වීමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
මේ වන විට ඉන්දියාවේ සිදුවන මුළු විවාහ මංගල්‍යයන්ගෙන් 25%ක්ම විවිධ සංචාරක ගමනාන්ත ආශ්‍රිතව සිදුවන අතර, එය 2028 වන විට 30% සිට 32% දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
ඉන්දියාවෙන් පිටත විදේශීය රටවල පැවැත්වෙන ඉන්දීය විවාහ මංගල්‍යයන් සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම වාර්ෂිකව 20% සිට 25% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊට බලපා ඇති ප්‍රධාන හේතු මෙසේය.
ඉන්දීය යුවළ වලින් 44%ක්ම කැමැත්ත දක්වන්නේ පැය 2 සිට 4 දක්වා ගුවන් ගමන් කාලයකින් ළඟාවිය හැකි ගමනාන්තයන්ටය.
ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇති වීසා රහිත ප්‍රවේශ පහසුකම.
සුඛෝපභෝගී ආගන්තුක සත්කාර, සුන්දර වෙරළ තීරයන්, වනජීවී, සංස්කෘතික සහ ආධ්‍යාත්මික සුවතා අත්දැකීම් එකම රටක් තුළදී විඳ ගැනීමට ඇති හැකියාව.
වාර්තාවට අනුව, මෙවැනි විවාහ මංගල්‍යයන් සඳහා කෙරෙන වියදම් වසරින් වසර 8%කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඉන්දියාව තුළ පැවැත්වෙන ගමනාත්ත විවාහ උත්සවයක සාමාන්‍ය පිරිවැය ඉන්දීය රුපියල් මිලියන 5.8ක් පමණ නමුත් ඔවුන් විදෙස් රටවල සැලසුම් කරන ගමනාත්ත වල මංගල්‍යයක සාමාන්‍ය පිරිවැය ඉන්දීය රුපියල් මිලියන 15 ඉක්මවන බව සඳහන් වේ.
එමෙන්ම, 2020 ට පෙර දින දෙකකට ආසන්න කාලයක් පැවති මංගල උත්සව කාලසීමාව, මේ වන විට සාමාන්‍යයෙන් දින 4කට ආසන් කාලයක් දක්වා දිර්ඝ වී තිබේ.
පැමිණෙන අමුත්තන්ට ලැබෙන අත්දැකීම මෙහිදී ප්‍රධාන වන අතර, රසවත් ආහාර පාන සඳහා මෙහිදී ඉහළම ප්‍රමුඛතාවක් හිමි වේ.
මෙම ප්‍රවණතාව පිළිබඳව අදහස් දක්වමින් WedMeGood හි සම-නිර්මාතෘ මෙහක් ෂහානි මහත්මිය ප්‍රකාශ කළේ, වර්තමානයේ ඉන්දීය විවාහ මංගල්‍යයන් විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවය.
යුවළ තම පවුලේ අයට සහ මිතුරන්ට අමතක නොවන අර්ථවත් අත්දැකීමක් තෑගි කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවත්, එම උනන්දුව විවාහ අයවැය කෙරෙහි ද සෘජුවම බලපාන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
