රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක දුම්වැටි සමග චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක දුම්වැටි සමග චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

June 21, 2026   11:40 am

රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අද (21) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ මෙම දුම්වැටි තොගය පිට කරගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු චීන ජාතික ව්‍යාපාරිකයෙකු බවත් සඳහන් වේ.

ඔහු චීනයේ සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ එතැන් සිට තායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත අද අලුයම පැමිණ තිබේ.

එහිදී සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 88,000ක් අඩංගු දුම්වැටි කාටුන් 440ක් මෙරටට රැගෙන විත් තිබුණි.

සැකකරු කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිය භාරයේ තබා ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමටද නියමිතය.