මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කරන්න බිලියන 31ක් වෙන් කරයි 

මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කරන්න බිලියන 31ක් වෙන් කරයි 

June 5, 2026   04:09 pm

මෙරට ස්ථාපිත මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ  කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

එම ව්‍යාපෘතිය සඳහා  බිලියන 31ක මුදලක් වෙන්කිරීමට කටයුතු කරන බව ඊයේ (04) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට නිරත වෙමින් ඔහු කීය. 

මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම මුලික අරමුණකර ගනිමින් මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියේ අඩුපාඩු සොයා බලා පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේවනවිට ක්‍රියාවට නංවා ඇත. 

එම වැඩසටහනට අනූව මෙම නිරීක්ෂණ චාරිකාව අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.

මෙහිදී රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, රසායනාගාරය, ලේ බැංකුව මෙන්ම දැනට ක්‍රියාත්මකවන  සංවර්ධන ව්‍යාපෘති, ඇතුළු අංශ අමාත්‍යවරයාගේ  විශේෂ නිරීක්ෂණයට ලක්විය.

රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව  අමාත්‍යවරයා රෝහල් පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී. 

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම සේවාවන් ඉටු කිරීමේදී පවතින ගැටළු පිළිබදව දීර්ඝව කරුණු දැක්වීමක් කළ අතර අදාළ අංශ සහ නිලධාරීන් වෙතින් විමසීම් කරමින් එම ගැටලුවලට එම මොහොතේ ලබා දිය හැකි කාලීන විසදුම් ලබාදීමට ද අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ වුවද ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර සේවාවන්  අඛණ්ඩව සැපයීම වෙනුවෙන් වැල්ලවාය මූලික රෝහලේ සේවයකරන විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය කාර්ය සහයක  දක්වා සිදුකරන්නාවූ කැපවීම පිළිබඳව සිය කෘතඥතාවය ද මෙහි දී පලකර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය බෝනොවන රෝග සම්බන්ධයෙන් කාර්ය සාධන බලකායක් පිහිටුවා ඒ මගින් එම රෝග තත්ත්වය වළක්වාලීමට ක්‍රියාකරමින් සිටින බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා මේ සඳහා ඇති ඒකක මේ දක්වා වෙන්වෙන් වශයෙන් කටයුතු කිරීම නිසා ලැබිය යුතු ප්‍රතිඵල නොලැබෙන බව නිරීක්ෂණයවී ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර අවශ්‍ය සංශෝධයන් සිදුකර එම කාර්යය වඩා විධිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දෙන ලදී.

ඊට අදාළ කතිකාවකදී මෙරට මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරන්, ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් විද්‍යායතනයක් ලෙස  ස්වේච්ජාවෙන් වකුගඩු ගල් සැත්කම් ස්ථාන කිහිපයක මාස කිහියපක් තුළදී සිදුකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්කළ බවත්, මේ සඳහා 2000ක පොරෝත්තු ලේඛනයක් තිබෙන බවට අනාවරණය වූ බවත් සඳහන් කළේය. 

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස විශේෂ මැදිහත්වීමක් සිදුකර මීරිගම මූලික රෝහලේ නව ශල්‍යාගාර පහසුකම් සහිත ගොඩනැගිල්ලක මේසදහා අවශ්‍යවන කාර්ය මණ්ඩල අනුමතකරවාගෙන මෙම මස 12වනදා  එම ශල්‍යකර්ම සිදුකිරීමේ කාර්ය ආරම්භකරන බව පැවසීය. 

එය සෞඛ්‍ය සේවාවේ සාමාන්‍ය ක්‍රමවේදයට ලැබෙන විශේෂ අවස්ථාවක් බවත්, මේ සදහා වැල්ලවාය රෝහල ද භාවිත කර ගැනීමේ ඇති හැකියාව පිළිබදව සොයාබලන බවද  අමාත්‍යවරයා මෙහිදී  අවධාරණය කළේය.