පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට
June 5, 2026 04:43 pm
රජය විසින් හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.
ඒ අනුව අදාළ සහනාධාරය රුපියල් 5000කින් වැඩි කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව 502,836 දෙනෙකුට මෙම සහනාධාරය හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 10,947ක් වැය කරන බවත් එම මුදල එකවර ගොවි ගිණුම්වලට බැර කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
"රජය තීරණය කළා මේ කන්නය පුරාම වෙළඳපොළ මිල කොතරම් ඉහළ ගියත්, වී වගාවට අවශ්‍ය යූරියා පොහොර මිටියක් රුපියල් 10,200කට ලබා දෙන්න. ඒ අනුව මේ කන්නය පුරාම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් මේ මිලට පොහොර ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.
මේ තත්ත්වය තුළ ගොවි ජනතාවට සිදුවිය හැකි අපහසුතා සලකලා මේ කන්නයේ සිට පොහොර සහනාධාරය ලෙස ලබා දෙන මුදල වැඩි කරන්න තීරණය කළා. මෙතෙක් හෙක්ටයාරයක රුපියල් 25000ක්ව පැවති සහනාධාරය රුපියල් 30,000 දක්වා වැඩි කරන්න තීරණය කළා. ඒ අනුව මේ දක්වා යල කන්නයේ වී වගාව ආරම්භ කර තියෙන හෙක්ටයාර් හාරලක්ෂ නව දහස් හයසීය හත්තෑවක් ලෙස සටහන් වෙනවා.
ඊට අමතරව බිම් සකස් කරපු හෙක්ටයාර 40,822ක ප්‍රමාණයක් තියෙනවා. ඉදිරියේදී යම් යම් ප්‍රදේශවල වී වගාවන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ විදිහට වගා කිරීම ආරම්භ කරලා තියෙන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 364,900කට මේ වනවිට පොහොර සහනාධාරය ගෙවා අවසන් කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 10,947ක මුදලක් වැය කරලා තිබෙනවා. ප්‍රතිලාභින් 502,836 දෙනෙකුට ගෙවලා තියෙනවා. රජය විසින් ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරීම නිසා වෙනදාට වඩා රජය විසින් මිලියන 2500ක පමණක මුදලක් මෙම යල කන්නයේදී පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කරලා තිබෙනවා."
