බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂනායක
May 15, 2026 04:51 pm
විධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට නම් සත්‍යවාදී තොරතුරු කරුණු හා දත්ත මත එකී රාජ්‍ය පාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු වුවත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත මහපොළොවේ සත්‍ය හා යථාර්ථය සමඟ සංසන්දනය කරන විට වැරදි දත්ත වන බවය.
ඔහු මේ බව කියා සිටියේ අද (15) තිස්සමහාරාම කාසිංගම පිහිටි ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක බෝගහපැලැස්සේ සෝමිස්සර හිමි මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් 2026 මාර්තු මාසයේ දී මෙරට එක් පුද්ගලයකුට රු. 16,990ක් දුප්පත්කමින් තොරව ජීවත් විය හැකි බවට දත්ත නිකුත් කර ඇති බවත් දින 30ක කාලයක් තුළ ආහාරපාන, වෙනත් අවශ්‍යතා ආදිය සපුරා ගැනීමට රු. 16,690කින් හැකියාවක් ඇත් ද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් ඒ මහතා සඳහන් කර සිටී.
මේ දත්ත සියල්ල සම්පූර්ණයෙන් වැරදි බවත් මේ දත්ත කේන්ද්‍ර කර ගෙන දරිද්‍රතා රේඛාව රජය තීන්දු කර විවිධ සහනාධාර ලබා දෙන බවත් විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කළේය.
මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මානුෂීය වී සංවේදී විය යුතු අතර කෘරත්වය පසෙකලා පසමිතුරුභාවයන් ඉවතලා වෛරී දේශපාලනය නැති කර රටේ ලක්ෂ 220ක් ජනතාව ගැන සිතා 30-40%ක් අතර දුප්පතුන් වී සිටින ජනතාව වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම අප රටේ ගොවි ධීවර කම්කරු ග්‍රාමීය නාගරික වතු ජනතාව මේ ජීවන වියදම නිසා පීඩනයට ලක්ව ඇති බවත් සුළු මධ්‍යම, මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියට පවා මේ ආර්ථික පීඩනයේ අසහනය විඳින්න සිදුව ඇති නිසා මේ සංඛ්‍යාලේඛන නිවැරදිව අවබෝධ කර ගන්නට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
