අගෝස්තු දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවට අනාවරණයක්

අගෝස්තු දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවට අනාවරණයක්

May 15, 2026   04:45 pm

අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත් මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද ඉල්ලුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිවේදනය කළේ, රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේ අද (15) ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මේ බව නිලධාරීන් ප්‍රකාශ කළ බවය.

එහිදී ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කර තිබේ.

විදුලි පරි⁣භෝජනය තිරසර ලෙස කළමනාකරණය  කිරීම අරමුණු කර ගනිමින් Clean Sri lanka වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුම්වත් කිරීම සහ විදුලි පරිභෝජනය කළමනාකරණය කරගන්නා නිවෙස් විධිමත්ව තෝරාගෙන පාසල්  දරුවන් ඇගයීමේ වැඩසටහනක්‍ සහ පාසල් දරුවන් හරහා විදුලි පරිභෝජනය කළමනාකරණය කර ගත හැකි ක්‍රමවේද පිළිබඳ දැනුම්වත් කිරීම වැනි ක්‍රමවේද පිළිබඳව ද එහිදී ⁣සාකච්ඡා කර ඇත.

ඉදිරියේදී සිදු කරනු ලබන ඉදිකිරීම්වලදී Green Building සංකල්පය හඳුන්වාදීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදහස් හුවමාරුවී ඇති  බව සඳහන්ය.

රජය නිසි පරිදි බලශක්ති කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාව පවතින අර්බුදය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නොමැති බව හරිනි අමරසූරිය එහිදී පෙන්වා දුන්නාය.

වෙනත් රටවල ඉන්ධන පෝළීම්, විදුලිය කප්පාදු කිරීම් සිදුවූවත් තම ආණ්ඩු විසින් මෙම අර්බුදය නිසි පරිදි කළමනාකරණය කළ බව ඇය අවධාරණය කළාය.

මෙම අර්බුදය මේ දක්වා අවසන්වී නොමැති බැවින් ඒ පිළිබඳව අප නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුය.

තිරසර බලශක්ති කළමනාකරණය සහ ජනතාව ඒ වෙනුවෙන් දැනුම්වත් කිරීම් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරියා සඳහන් කළාය.

එමෙන්ම වෙසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය ලබාදීම අවශ්‍ය බව ද මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියාය.