චාල්ස් රජු අමෙරිකාවේ සංචාරයකට සූදානම් වෙයි
April 15, 2026 08:23 am
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කර තිබේ.
මෙම සංචාරය අතරතුරදී එරට කොංග්රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියක් ඇමතීමට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාළිගයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අප්‍රේල් 27 සිට 30 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරයේදී චාල්ස් රජු සහ කැමිලා රැජින වොෂින්ටන් ඩී.සී., නිව්යෝර්ක් සහ වර්ජිනියා යන තැන් කිහිපයක සංචාරය කිරීමට නියමිතය.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කර ඇති මහජන උත්සව මාලාවකට සහභාගී වීමයි.
මෙම සංචාරය සිදුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සුවිශේෂී සබඳතාව (Special Relationship) දැඩි අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවකදී වීම විශේෂත්වයකි.
ඉරානයට එරෙහිව ඇමෙරිකාව දියත් කර ඇති ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග සඳහා බ්‍රිතාන්‍ය අගමැති සහ ඔහුගේ රජය පූර්ණ සහාය ලබා නොදෙන බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් පසුගිය සති කිහිපය පුරා බ්‍රිතාන්‍ය රජයට දැඩි ලෙස විවේචන එල්ල කර තිබුණි.
