මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල
March 8, 2026 01:23 pm
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
කෙසේ වෙතත් ඔවුන් සිව් දෙනාම මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බැලීම් සිදු කරන බව ද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ අතර ඊශ්‍රායලය සහ අමෙරිකාව සමග ඉරානයේ පවතින යුධ ගැටුම් අඛන්ඩව තවදුරටත් ක්‍රියාත්මක වනවා.
මැදපෙරදිග අසල්වැසි රටවලට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට හා මේ දක්වා ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සමාව ගන්නා බවට ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ වුවද තවදුරටත් ඉරාන හමුදාව විසින් අඛණ්ඩව කුවේට්, කටාර්, සෞදි අරාබියා, එක්සත් අරාබි එමීර් ඇතුළු මැද පෙරදිග රටවලට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ ඩ්‍රෝන යානයක කොටසක් කඩා වැටීමෙන් පාකිස්තාන ජාතික රියදුරෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
