මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

March 6, 2026   05:57 am

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 7ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.

Update - 09:00 AM

ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල යුද්ධයේදී මේ දක්වා ඉරාන නැව් 30 කට වඩා වැඩි ප්‍රමාණයක් ගිල්වා දමා ඇති බව එක්සත් ජනපද හමුදාව පවසයි.

ඊට ගිනි ගනිමින් පවතින ඉරාන ඩ්‍රෝන් නෞකාවක් ද ඇතුළත් බව සඳහන්ය.

මේ අතර, යුද්ධයේ පළමු දිනයේ සිට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බව මධ්‍යම විධානයේ අණදෙන ප්‍රධානියා ලෙස මැදපෙරදිග ඇමරිකානු බලකායන්ට නායකත්වය දෙන එක්සත් ජනපද අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවසීය.

-------------------------------------------

Update - 08:50 AM

ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබාදී තිබේ.

'2026 මාර්තු 5 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අවසර දීම' යනුවෙන් අදාළ අවසරය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කර ඇත.

-------------------------------------------

Update - 08:46 AM

සෞදියේ මධ්‍යම අල්-කර්ජ් ආණ්ඩුකාර ප්‍රදේශයට නැගෙනහිරින් කෲස් මිසයිලයක් බිම හෙළූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

-------------------------------------------

Update - 07:05 AM

අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ.

ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා ඇත.

-------------------------------------------

Update - 06:53 AM

ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් අමෙරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ, සිය රට මේ වනවිට යුද්ධයේ ඊළඟ අදියර වෙත ගමන් කරමින් සිටින බවය.

-------------------------------------------

Update - 05:53 AM

ඉරානය විසින් බහරේනයේ  මනමා අගනුවර හෝටල් දෙකක් සහ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රහාරයෙන් දේපොළ හානි සිදුව තිබුණද ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ බව වාර්තා වෙයි.