මතභේදයට තුඩුදුන් ගල්අඟුරු නැව් පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට භාරදෙයි
March 4, 2026 09:55 am
මතභේදාත්මක ගල්අඟුරු නැව් නවයක් පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට භාරදී තිබේ.
එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් අඩු ගුණාත්මක ගල්අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් සිදු වූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම වෙත උපදෙස් ලබා දී තිබුණි.
නිශ්චිත ගුණාත්මක ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වූ ගල්අඟුරු ආනයනය කිරීම තුළින් මහජනතාව මත රුපියල් බිලියන 1.8 ඉක්මවන මූල්‍ය බරක් පැටවූ බව සභාපතිවරයා පසුගිය දා පැවසීය.
ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයින් පසුගියදා අනතුරු ඇඟවීය.
