පුත්තලම දුම්රිය මාර්ගය  සම්පූර්ණයෙන්ම විවෘත කෙරේ

පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරේ

February 15, 2026   03:17 pm

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම හෙට (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව හෙට සිට පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර කොළඹ කොටුව සිට පුත්තලම දක්වාම දුම්රිය ධාවනය සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිසා තාවකාලිකව නවතා තිබූ මෙම මාර්ගයේ මගී දුම්රිය ධාවනය අදියර කීපයක් යටතේ මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය, කුඩා වැව යන දුම්රිය ස්ථාන දක්වා දීර්ඝ කරන ලද අතර අවසාන වතාවට දෙසැම්බර් 29වනදා හලාවත දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කෙරිණි.

හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා යාම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යාම වැනි බරපතල ආපදා හේතුවෙන් මෙසේ පුත්තලම දුම්රිය ස්ථානය දක්වා ධාවනය බිදවැටී තිබුණි.

ඒ අනුව හෙට (16) සිට පහත පරිදි මගී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත.

පුත්තලම මාර්ගය3 (1) by poornima