අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගැන තොරතුරු හෙළිවෙයි
February 15, 2026 02:35 pm
අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණවී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට කණ්ඩායම් 12ක් පත් කර ඇති බව ද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
"මේ අපරාධකරුවන් ගමන් කළා කියන වාහනය ගිනිගැනීමක් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ කොතරම් තොරතුරු පළ වුණත්, අපි මේක තහවුරු කරන්නේ, රසපරීක්ෂක වාර්තාව ලැබුණාට පස්සේ. අපිට එහෙම හිතුණාට, මේක සියයට 100ක් ඒ වාහනය කියලා කියන්න බැහැ.
මේ සිද්ධියට සම්බන්ධයෙන් වෙඩි තැබූ දෙන්නා පමණක් නෙවෙයි ඉන්නේ. මේක සම්බන්ධ තවත් ගණනාවක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට සාර්ථක තොරතුරු ලැබිලා තියෙනවා. පුද්ගලයින් සිව් දෙනෙක් සම්බන්ධයෙන්. මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න කලිනුත් තවත් තොරතුරක් ලැබුණා. දවසක් දෙකක් ඇතුළත, මේක විසඳගන්න බොහෝවිට ඉඩකඩ ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මේ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා. නීතිඥවරයා සම්බන්ධයෙන් කිසිම දෙයක් පොලීසියක් විදිහට අපි නිවේදනය කරලා නැහැ. ඇතැම් කරුණු ජනමාධ්‍ය ඔස්සේ හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. අපි 100%ක්ම ඒ කරුණු අනුමත කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. මේ විමර්ශන කටයුතු ඉතාමත් සංවේදීයි. දැනට සෑහෙන්න දුරකට මේ කටයුතු සිදු කරලා අවසන්.
මම ප්‍රකාශයට පත් කරන්නේ, ප්‍රකාශ කරන්න පුළුවන් කරුණු පමණයි. ඇතැම් කරුණු ප්‍රකාශ කෙරුණොත්, විමර්ශනයට බාධාවක් වෙන්න පුළුවන්. සමහර කරුණු අපි බැහැර කරන්නේ නැහැ. ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්. නීතිඥවරයෙක්ට කුමන ආකාරයේ අපරාධකරයෙක් වෙනුවෙන් වුණත්, පෙනී සිටින්න පුළුවන්. මොහු ඉදිරිපත් වුණ නඩු සම්බන්ධයෙන් අපි විමර්ශන කරමින් සිටිනවා. අපිට ඍජුව කියන්න බැහැ, මේ නීතිඥවරයා අහවල් සැකකරු වෙනුවෙන්, අහවල් අපරාධකරු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිසිය දැනට විමර්ශනය කරන්න නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න වෙන්නේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනය අවසන් කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තයින් පස්සේ."
