රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි
February 8, 2026 03:27 pm
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (09) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ බලධාරීන් විසින් සිය ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් එම තීරණයට එළඹි බවය.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරී ආවරණය කළ වෛද්‍ය චාල්ස් නුගවෙල මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා තිබුණි.
ඒ අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ වාර්තාවට අනුව ඔහු, වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිඛිත නියෝගයක් ලබා දී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.
එම සාධනීය තත්ත්වය සැළකිල්ලට ගනිමින් හෙට පැවැත්වීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සිය සංගමයේ විධායක සභාව තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
