සයුරෙන් එතෙර
පාකිස්තානයේ ගැටුම්වලින් 200කට ආසන්න පිරිසක් මරුට
February 1, 2026 04:49 pm
පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රාන්තයේ පාකිස්තාන හමුදා සහ කැරලිකාර කණ්ඩායම් අතර ඇති වු ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ මියගිය පිරිස අතර සිවිල් වැසියන් 31 දෙනෙක් සහ ආරක්ෂක නිලධාරීන් 17 දෙනෙකු සිටින බවය.
කලාපයේ මහ ඇමති සර්ෆ්රාස් බුග්ටි පවසා ඇත්තේ ආරක්ෂ අංශ ප්‍රතිප්‍රහාර හමුවේ අවම වශයෙන් ප්‍රහාරකයින් 145 දෙනෙකු ද මියගොස් ඇති බවය.
එම පළාතේ ප්‍රධාන නගරය වන ක්වෙටා නගරයේ සහ අනෙකුත් ස්ථාන වටා සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රහාර එල්ල කර ඇති බව පාකිස්තාන ආරක්ෂ අංශ පවසා ඇත.
පළාත පුරා නගර කිහිපයක බන්ධනාගාර සහ රජයේ ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් අත්බෝම්බ සහ වෙඩි තැබීම් සිදුකර ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් ජංගම දුරකථන සේවා අවහිර වූ අතර කලාපීය දුම්රිය සේවා අත්හිටුවා ඇති බව පැවසේ.
ඉන්දියාව විසින් මෙම කැරළිකරුවන් වෙත සහය දී ඇති බවට පාකිස්තානය චෝදනා කළ ද ඉන්දියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
බලොචිස්තාන විමුක්ති හමුදාව නම් කැරළිකාර කණ්ඩායම විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.
මෙම කැරලිකාර කණ්ඩායමේ ප්රචණ්ඩත්වය සහ මාරාන්තික ප්‍රහාරවලට එරෙහිව පාකිස්තාන රජය දශක ගණනාවක් පුරා සටන් කරමින් සිටී.
පාකිස්තාන රජය විසින් බලොකිස්තාන් පළාතේ ඛනිජ සම්පත් සූරාකෑමක් සිදුකරණ බවට බලොකිස්තාන් විමුක්ති හමුදාව නම් කැරලිකාර කණ්ඩායම චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ ප්‍රදේශයේ ජනතාවට එම ප්රතිලාභ නොලැබෙන බවටය.
ගෑස් සහ ඛනිජ ඇතුළු ස්වාභාවික සම්පත් අතින් බලොකිස්තාන් පළාත ද ධනවත් වේ.
මෙම කලාපයට එහි නම ලබාගෙන ඇත්තේ එහි විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන බලුච් ගෝත්‍රයෙන් බව සඳහන් වේ.
1948 දී පකිස්තානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු, පකිස්තාන රජයට එරෙහි ප්‍රතිරෝධය සහ බලුච් ජනතාවට ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා කැරැල්ලක් ආරම්භ විය.
