මගීන් 40 දෙනෙකුගේ ජීවිත බේරූ රියදුරු දෑත 

මගීන් 40 දෙනෙකුගේ ජීවිත බේරූ රියදුරු දෑත 

February 1, 2026   04:24 pm

අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් අත්තිරිංගය භාවිත කරමින්  නතර කරගැනීමට එහි රියදුරු සමන් තිලකසිරි මහතා සමත්වී තිබේ. 

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද (01) නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය අනතුරට පත් වී ඇත. 

දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ එම මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී මේ රථය අනතුරකට ලක්වූ බව බස් රථයේ රියදුරු සමන් තිලකසිරි මහතා කීය. 

ඒ අවස්ථාව වනවිට බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන් ය. 

''අද උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉඳලා තෙරිපැහැ දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ එම මාර්ගයේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළවෙන් වංගුවේදි ඩෝං ගාලා සද්දයක් ආවා. 

මම ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර කර ගත්තා. බස් රථයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් රුපහ මාර්ගය පේනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරා. 

මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා. බස් එකේ ඉන්න කට්ටිය බස්සවලා මම ඒ පිළිබඳව ඩිපෝවට දැනුම් දුන්නට පස්සේ ඩිපෝවෙන් ඇවිල්ලා අලුතින් ජොයින්ට් එකක් දාලා බස් එක ගත්තා. 

බස් එක ගන්නකම් මාර්ගය අවහිර වෙලා තිබුණේ. මම අවුරුදු 15ක් පමණ රියදුරෙකු වශයෙන් වලපනේ ඩිපෝවේ සේවය කරනවා. මම කෑගල්ලේ අවිස්සාවේල්ල පාරේ. මම දෙදරු පියෙක්. බස් රථය අනතුරට පත් වුණ ස්ථානය දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය ස්ථානයක් මාර්ග තාම හරියට හදලා නෑ. එම මාර්ගයේ බස් රථ ධාවනය කරන්න හරි අමාරුයි.''