අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක්

අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක්

October 31, 2025   05:38 pm

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුවීමක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරිය පිළිබඳව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරූ උත්සාහයට එරෙහිව අද (31) දිනයේදී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට සිය සංගමයට සිදුවූ බවය.

ඒ අනුව සිය සංගමය විසින් මධ්‍යම කාරක සභාව විසින් අද දින උදෑසන 08.00සිට ආරම්භ වන පරිදී දීප ව්‍යාපාත්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අතරතුර ඊයේ (30) දින සිය සංගමයේ විධායන සභාවේ නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී මෙම ස්ථාන මාරු ගැටලුව සම්බන්ධයෙන් එකඟතාවන් කිහිපයකට එළැඹුණු බව එම සංගමය සඳහන් කර තිබේ.

මේ අනුව අදාළ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සහ ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ කාල සටහන ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට යම් කාලයක් ලබා දෙමින් උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ආරම්භ කිරීම 12.00 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කර ඇත.

පසුව එකඟ වූ පරිදි අක්‍රමවත් ස්ථාන මාරු නියෝග අත්හිටුවමින් විධිමත් ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙමින් ඊට අදාළ කාල රාමුව සහිත ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවත් ඒ අනුව අද (31) දහවල් කාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා මෙම සියලු කරුණු සහ තත්ත්වයට පිළිබඳ සමාලෝචනයක් සිදුකර අදට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය අවලංගු කිරීමට පියවර ගත් බවත් එහි සඳහන්ව තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක් by poornima