බ්‍රසීලයේ අපරාධකරුවන් සෙවූ  මාරාන්තික මෙහෙයුම
සයුරෙන් එතෙර

බ්‍රසීලයේ අපරාධකරුවන් සෙවූ මාරාන්තික මෙහෙයුම

October 31, 2025   03:55 pm

බ්‍රසීලයේ ප්‍රාන්තයක් මෙන්ම ප්‍රධාන නගරයක් ලෙසින් ද හඳුන්වන රියෝ ද ජැනයිරෝ නුවර, අපරාධ කල්ලි මැඬලීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

රියෝ ප්‍රාන්ත පොලීසිය පවසන්නේ මෙම මෙහෙයුම මාස 2ක් පුරා සැලසුම් කළ බවය.

කෙසේ වෙතත් එම මෙහෙයුමේදී පොලීසියට අපරාධ කල්ලි වෙතින් දැඩි ප්‍රතිරෝධයක් ද එල්ල විය.

එහිදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබීය.

එමෙන්ම මෙම දැවැන්ත පොලිස් මෙහෙයුමේදී අපරාධ කල්ලි සාමාජිකයන් බව පවසන සිවිල් වැසියන් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මියගිය පිරිස මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලිවල සාමාජිකයන් බව පොලීසිය අවධාරණය කර තිබේ.

මේ අතර බ්‍රසීල ජනාධිපති ලූලාත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි තුළින් පොලිසිය සහ සාමකාමි බ්‍රසීල පුරවැසියන් අවදානමකට ලක්නොවිය යුතු බවය.

කෙසේවෙතත් පොලිසිය පැමිණියේ ඔවුන් මරා දැමීමට මිස මෙහෙයුමක් සිදු කිරීමට නොවන බව ද මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කර ඇත.

ඒ පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය බ්‍රසීල රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙම මෙහෙයුම බ්‍රසීල ඉතිහාසයේ දරුණුතම පොලිස් මෙහෙයුම ලෙසද සැලකේ. 

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ රියෝ නගරයේ පොලිස් මෙහෙයුමෙන් මියගිය තම නෑ හිතවතුන්ගේ සිරුරු හඳුනාගැනීම සඳහා, ජනයා නගරයේ මෘත ශරීරාගාර අසල පෙළ ගැසී සිටි බවය.

බ්‍රසීලයේ අපරාධකල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම මෑත කාලීනව බිහි වූ සෑම රජයකටම අභියෝගයක් බවට පත්විය.

ජනාධිපති ලූලා ඩා සිල්වාගේ වර්තමාන බ්‍රසීල රජයටත් ඒ තත්ත්වය එලෙසින්ම බලපා ඇත. 

කෙසේ වෙතත් දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය සමුළුව නොවැම්බර් 10 වැනිදා සිට 21 දක්වා බ්‍රසීලයේ දී පැවැත්වෙන අතර එයට ලොවපුරා රටවල නායකයින් සහ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.

එය උතුරු බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරය අභියස බෙලෙම්හිදී පැවැත්වුණේ ඊට සහභාගි වන විදේශීය නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් රියෝ නුවරටත් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට පෙර අපරාධ කල්ලි මැඬලීමේ මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව බ්‍රසීල පොලිසිය සඳහන් කර සිටියේය.