මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි
October 31, 2025 03:49 pm
2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය සහනාධාර ලබා දීමේ වැඩසටහන ඊයේ (30) ආරම්භ වී තිබේ.
මෙම වැඩසටහන යටතේ වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් සහ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මූල්‍ය සහනාධාරයක්ද හිමිවේ.
මේ යටතේ 2025/2026 මහ කන්නයේදී වී වගා හෙක්ටයාර 859,159කට සහ අතිරේක ආහාර බෝග හෙක්ටයාර 9,650කට සහනාධාර හිමිවීමට නියමිතය.
මේ වෙනුවෙන් රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 20,000ක් වන අතර රුපියල් මිලියන 16,000ක් 2025 දෙසැම්බර් 31 දිනට පෙර වගාකරුවන්ට වෙත ගෙවීමට නියමිතය.
ඉතිරි රුපියල් 4,000ක මුදල මහ කන්නයේ වගා කිරීම ප්‍රමාදවන ප්‍රදේශවල ගොවීන්ට 2026 වසරේ මුල් කාර්තුවේදී ගෙවීමට නියමිතය.
වී සහ අතිරේක බෝග වගාවන්හි නිෂ්පාදනය සහ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ ගොවි ජනතාවගේ නිෂ්පාදන පිරිවැය පහළ හෙලීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන මගින් ගොවීන් ලක්ෂ 14කට අධික පිරිසකට සෙත සැලෙස බවත් පළමු දිනය තුළම ගොවීන් 125, 383 දෙනෙකු වෙත රුපියල් මිලියන 1,154ක මුදලක් නිදහස් කිරීමට කටයුතු කළ බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.
 
					