සමාජ මාධ්‍ය ඔස්සේ විදෙස් රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ සිදුවීම් ඉහළට

සමාජ මාධ්‍ය ඔස්සේ විදෙස් රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ සිදුවීම් ඉහළට

October 31, 2025   03:25 pm

සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ යූටියුබ් නාලිකා මගින් විදේශ රැකියා සඳහා මුදල් වංචා කරන සිදුවීම් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කර ඇත්තේ කාර්යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා පවත්වමින් මෙම මුදල් වංචා කිරීම් සිදුව ඇති බවය.

එමෙන්ම එම දැන්වීම්වලින් බහුතරයක් ව්‍යාජ දැන්වීම් බවත් ඒ සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් මේ සම්බන්ධව නීතිමය පියවර ගැනීමටද කාර්යාංශය කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් සිංගප්පූරුවේ කර්මාන්ත ශාලාවල නිශ්පාදන සහකාර රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 76 කට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (30) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වසර 3ක් සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබා ඇති අතර, එහිදී හඳුනාගත් ආයතනයකට ශ්‍රමිකයින් යොමුකරන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 5 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති අතර එසේම විදේශ රැකියා ලබාදෙන බවට ගම්පහ නීතීඥවරයෙකු ඉදිරියේ ගිවිසුම්ද අත්සන් කර ඇති නමුත් පොරොන්දු වූ පරිදි රැකියාව ලබාදී නොමැති බවත් කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ පිළිබඳව මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම වංචාකරු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මූල්‍ය වංචා චෝදනා යටතේ ගම්පහ අධිකරණයේ නඩු 7ක් පවතින බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරු අද දින (31) ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර, බොරැල්ල YMBA වෙ‍ෙළඳ සංකීර්ණයේ උපදේශන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින වැටලා තිබේ. 

එහිදී අදාළ ආයතනයේ හිමිකාරිණිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 33ක් ඇතුළු විදේශ රැකියා ලබාදීමට අදාළ ලේඛන රැසක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත. 

අදාළ ආයතනය මගින් ඩුබායි, මැලේසියා වැනි රටවලට රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම මෙහෙයවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියද අද අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන දැන්වීම්වලට අදාළව මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර අදාළ ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු බලපත්‍රයක් සහිත ආයතනයක්ද, නීත්‍යානුකූල ආයතනයක් නම් අදාළ රැකියාව සඳහා කාර්යාංශයේ අනුමැතියක් ලබාගෙන ඇත්ද යන්න පිළිබඳවත් කරුණු සොයාබලන මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

එසේම වංචනික ආයතන හෝ වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ 0112882228 අංකයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.