ත්‍රිවිධ හමුදාව භාවිතාකළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

ත්‍රිවිධ හමුදාව භාවිතාකළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

October 29, 2025   04:39 pm

යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී මෙය පැවැත් වූ බවය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියාකොන්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වී ඇත.

එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධක විසඳීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබේ.

එමෙන්ම තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත්කර ගැනීම පිළිබඳව ද කරුණු සමාලෝචනය කර ඇත.

ඒ අනුව සිවිල් දේපොළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්‍ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්‍ෂාව සහතික කිරීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපනය කිරීම අවසන් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් යුක්ත විය යුතු බවත්, එම ක්‍රියාවලිය ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සම්පූර්ණයෙන්ම සමපාත විය යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇත.