ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට  ගුවන් යානය තුළදීම පහරදීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළදීම පහරදීමක්

October 26, 2025   05:26 pm

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් තුළදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබි ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබු යූ.එල් 266 දරණ යානයේ සිටි ගුවන් මගියෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලීසිය පැවසුවේය.

යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වු අවස්ථාවේ සියලුම ගුවන් මගීන්ට තම ආසන පටි පැළඳ අසුන් ගෙන සිටිය යුතු බවට දැනුම් දී තිබුණ ද එය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා වැසිකිළිය වෙත යාමට උත්සහ දරා ඇති අතර එහිදී මෙම ගැටුම හට ගෙන ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් විසින් යානයේ නියමුවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් සැකකාර සෞදි අරාබියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ හරහා මැලේසියාවට ගමන් කිරීමේ අරමුණින් පැමිණ ඇති එම සෞදි අරාබි ජාතිකයා 28 හැවිරිදි අයෙකු වන අතර ඔහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.