වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක දත්ත ඔස්සේ විමර්ශන

වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක දත්ත ඔස්සේ විමර්ශන

October 23, 2025   07:30 pm

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සීසීටීවී කැමරා පනහක පමණ දර්ශන අධීක්ෂණය කරමින් මේවන විට විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.

වෙඩික්කරු සහ ඔහු පිටව ගිය යතුරුපැදිය පැදවූ තැනැත්තා අතරමගදී වෙන් වෙන්ව යතුරුපැදි දෙකක ගමන් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊයේ(22) උදෑසන එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යාල කාමරය තුළදීම නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් පවසන්නේ වෙඩික්කරුවන් ප්‍රහාරයෙන් අනතුරුව මාතර දෙසට ගමන්කර ඇති බවට තොරතුරු අනාවරණ වී බවය.

මේ අතර අදාළ විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ zoom තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 4ක් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ලක් වූ අවස්ථාවේ  ඝාතනය මෙහෙයවූ බව කියන මිදිගම රුවන් අධිකරණ කටයුත්තක් සඳහා පිටතට රැගෙන ගොස් සිට ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

පොලිසිය සැකපළකරන්නේ අදාළ ඝාතනය පිළිබඳව එල්ලවන චෝදනාවලින් ගැලවීම සඳහා ඔහුව අධිකරණයට රැගෙන යන දිනකදීම සභාපතිවරයා ඝාතනය කිරීමට සූදානමින් සිට ඇති බවය.

මේ අතර මිදිගම රුවන්ට අයත් බව කියන ගිනිඅවි 4ක් පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගම ප්‍රදේශයෙන් සොයාගැනීම සඳහා ඔත්තුව ලබාදී ඇත්තේ ද ඝාතනය වූ සභාපතිවරයා බව වාර්තාවෙයි.

ඒ හේතුවෙන් මිදිගම රුවන් ඔහු සමග දැඩි වෛරයෙන් සිට ඇති බවටද තොරතුරු වාර්තා වන බව පොලිසිය පැවසීය.

ඊට පළිගැනීමක් වශයෙන් ඔහු මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසියේ සැක පල කරයි.