ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා  සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

October 23, 2025   06:04 pm

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි. 

පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹවීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) විසින් වසර දෙකකට වරක් මෙම සම්මාන උලෙළ සංවිධානය කෙරේ.

මෙහිදී 2023 සහ 2025 වසරවලට අදාළව වන වගාව සහ අපනයන කෘෂිකාර්මික බෝග ඇතුළු වැවිලි වගාව, මල් වගාව ඇතුළු වැවිලි නොවන වගාව, පශු සම්පත් සහ ධීවර හා ජලජ සම්පත් යන කාණ්ඩ ත්‍රිත්වය යටතේ කෘෂි පර්යේෂණ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කෙරිණි.

මෙම සම්මාන උලෙළ ඇමතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ආනයන මත යැපීමට සිදු වීම සහ ඒ සඳහා පාරිභෝගික ජනතාවට විශාල පිරිවැයක් දැරීමට සිදු වීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් බවය.

එබැවින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ උපායමාර්ග හඳුනා ගැනීම, තරුණ කෘෂිකාර්මික ව්‍යවසායකයින් බිහි කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, අපනයනය පදනම් කර ගත් කෘෂිකාර්මික නිෂ්පාදන දියුණු කිරීම ආදිය සඳහා විද්‍යාත්මක පර්යේෂණ මගින් දායකත්වය සැපයීම කෘෂි පර්යේෂකයින් වෙත පැවරී ඇති භාරදුර වගකීමක් බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය. 

එහිදී අමාත්‍යවරයා පර්යේෂකයින්ගෙන් ඉල්ලා සිටියේ මෙම පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ අදාළ සියලු පාර්ශ්වකරුවන්ට ප්‍රමාණවත් පරිදි සන්නිවේදනය කිරීම මගින් එම සොයා ගැනීම් මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙසය.

එමෙන්ම කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මෙරට කාෂිකර්මික පර්යේෂණවලට අදාළව ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ට වඩාත් යහපත්, එනම්, මෙරට පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන, ආනයන මත අඩු යැපීමක් සහිත ගොවි ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙන පරිසර හිතකාමී කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීම රජයේ අරමුණ බවද පැවසුවේය.