අඳුර පරදා ආලෝකය ජය ගන්නා දීපාවලී දිනය අදයි

අඳුර පරදා ආලෝකය ජය ගන්නා දීපාවලී දිනය අදයි

October 20, 2025   06:27 am

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි. 

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙයි.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වේ.

අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනු ලබයි.

මේ අතර දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර ඇත.

දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටින බවය.

පුරවැසියන්ගේ පමණක් නොව, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස උර දී සිටින බව එහි සඳහන් වේ.

සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත් සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බව අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රාර්ථනා කර ඇත.

ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලංකාවාසීන්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව අද වන විට සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින බවත් දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකි බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

මේ අතර යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වර්තමානයේ අසත්‍ය විසින් සත්‍යය වසා දමා ඇති බවත් අවිද්‍යාව විසින් විද්‍යාව යටපත් කරන පසුබිමක කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ හේතුවෙන් යහපත වෙනුවට නපුර ශක්තිමත් වෙමින් පවතින බවත් නපුර පරාජය කර යහපත උදාව ආලෝකමත් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දීපාවලි දින පණිවිඩය මගින් ප්‍රකාශ කර ඇත.