වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට

වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට

October 20, 2025   08:17 am

පසුගිය දින කිහිපයේම පැවැති අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණියේත් ඊයේ (20) දිනය තුළත් ලැබුණු අධික වර්ෂාපතනය හමුවේ ගංවතුර අවදානම් තත්ත්වයට පැමිණ ඇති බවය.

මේ හේතුවෙන් අදාළ ගංවතුර නිම්නයේ පහත්බිම් ආශ්‍රිත ජනතාව වෙත ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට රාජාංගනය ජලාශයද තත්ත්පරයට ඝණ අඩි 8,870ක සීඝ්‍රතාවයකින් යුතුව ජලය මුදා හැරීම් සිදුවන බවත් මේ හේතුවෙන් කලාඔය ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට යම් ගංවතුර අවදානමක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද ඉදිරි දිනවල නිකුත් කර ඇති කාලගුණ පුරෝකතණයන්ට අනුව සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් කැලණි ගංගා ද්‍රෝණියෙහි හංවැල්ල සහ ඉන් පහළ ප්‍රදේශයන් හී ගංවතුර නිම්නවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ඉහළ ධාරා ප්‍රදේශයන් වෙත ලැබුණහොත් පහළ ප්‍රදේශයන් ඉතා ඉක්මනින් ගංවතුර අවදානමකට ලක්විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය‍

මේ අතර කාලගුණ අනාවැකි අනුව ඉදිරි දින කිහිපයත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බැවින් කැලණි, කළු, මහ ඔය, දැදුරු ඔය, කලාඔය, වැනි ගංගා ද්‍රෝණින් හී වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.