ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

October 18, 2025   06:01 pm

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 4ක් අඩි 4 කින් සහ වාන් දොරටු 2ක් අඩි 3 කින් විවෘත කර ඇති බවය.

එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 15,000ක මුළු ජල ප්‍රමාණයක් මුදා හැරේ.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන 7,800 මුළු ජල ප්‍රමාණයක් මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අංගමුව වැවේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 2,994ක් ජල ප්‍රමාණයක් මුදා හරී.

මේ අතර ගලහා නිල්ලඹ ජලාශයේ වාන් දොරටු තුනක් අද (18) සවස විවෘත කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ. 

එමෙන්ම මේ වනවිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කලා වැවේ ද වාන් දොරටු 2ක්, අඩි 1ක ප්‍රමාණයකින් විවෘත කර තිබේ.

ඉන් තත්පරයට ඝන අඩි 1,200ක පමණ ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව ජලාශයභාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය. 

මේ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.