ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

October 18, 2025   10:40 am

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ පසුගියදා සිදුවු සිදුවීමට මුහුණදුන් නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම වෙනුවෙන් වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා පොලීසිය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා කරමින් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අදාළ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවැදුන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් අධිකරණ පරිශ්‍රයේ තිබූ මෝටර් රථයක් ඉන් පිටතට ගන්නා ලෙස පවසා ඇති අතර එහිදි ඇති වු බහින් බස්වීමක් හේතුවෙන් මෝටර් රථයේ සිටි නීතීඥවරයෙකුට ඔහු විසින් පහරදුන් බවට වාර්තා වුණි.

එම අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ද අදාළ මෝටර් රථයේ සිට ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට මුහුණදුන් නීතීඥවරයා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඊට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා අද දින ගල්කිස්ස පොලීසිය වෙත කැඳවා තිබුණි.

මේ අතර සිද්ධියට මුහුණදුන් පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබු නමුත් ඔහු මේ දක්වාත් රාජකාරියට වාර්තා කර නොමැති බව සඳහන්ය.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඔහු මෙලෙස නිවාඩු ලබා ඇති අතර නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව ඔහුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.