38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට

38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට

October 8, 2025   04:43 pm

38වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා (10) සිට 14වනදා දක්වා දින 5ක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය පැවැත්වේ.

මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් ඇතුළුව ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරගවලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වූ දූ දරුවන්ට මෙම තරගාවලියට සහභාගිවීමට අවස්ථාව හිමිවේ.

දිවයින පුරා පාසල් 1,170ක අධ්‍යාපනය ලබන 15,000ක දරු දැරියන් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගි වන අතර, ඉන් මලල ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 සහභාගිවීමට නියමිතය.

සමාප්ති දින ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංඛේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.