ඇල්පිටියේ නිවසකට එල්ල වූයේ වෙඩි ප්‍රහාරයක් නොවන බව පොලීසිය කියයි
October 5, 2025 04:33 pm
ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ නිවසකට එල්ලවී ඇත්තේ වෙඩි ප්‍රහාරයක් නොවන බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ අදාළ නිවසේ සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇති බවය.
වෙඩි තැබීමක් හේතුවෙන් නිවසක ඉදිරිපස ඇති ජනේලයක වීදුරු බිදී ගොස් නිවස තුළ තිබූ උපකරණ කිහිපයකට ද හානි සිදුව ඇති බවට ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව ඇල්පිටිය පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු සිදු කළ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ හානිකිරීමක් නොවන බවය.
බටයක් වැනි යමකට වෙඩි බෙහෙත් සහ ගල්කැට යොදා ‘ඩප්පියක්‘ සකස් කර එය දමා ගැසීමෙන් පසු පුපුරා යාමෙන් සිදුවු හානියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින අතර අදාළ ස්ථානයෙන් හමුවු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.