කඳානෙන් හමුවූයෙත් අයිස් මත්ද්‍රව්‍ය ද ?- පරීක්ෂණ වාර්තාව ලබන සතියේ
October 5, 2025 03:40 pm
කඳාන ප්‍රදේශයෙන් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වූ තොරතුරු මත පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබීය.
අනතුරුව තංගල්ල නෙටොල්පිටිය සහ කඳාන යන ප්‍රදේශවලින්ද එවැනිම රසායනික ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයා ගත් අතර ඒවා පරීක්ෂා කිරීම සදහා එහි සාම්පල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
එම සාම්පලවලින් මේ වන විටත් මිද්දෙණිය සහ තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශවලින් සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිකුත් කර ඇත.
එම වාර්තාවලට අනුව අදාළ ස්ථාන දෙකෙහිම හමුවු රසායනික ද්‍රව්‍ය මෙතැම්ෆෙටමීන් හෙවත් අයිස් බවට තහවුරු වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.
කඳාන ප්‍රදේශයෙන් හමු වූ ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව පමණක් නිකුත් කිරීමට ඇති අතර එය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට නියමිතය.