සයුරෙන් එතෙර
ඇෆ්ගන් විදේශ ඇමති ඉන්දියාවට
October 4, 2025 07:39 am
ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තාකි සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය සියතට ගැනීමෙන් අනතුරුව එරට ඉහළ පෙළේ නියෝජිතයෙකු ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.
මෙම සංචාරය දකුණු ආසියානු කලාපීය භූ දේශපාලනයේ කැපී පෙනෙන වෙනසක් සිදු කරනු ඇතැයි මේ වනවිට මත පළවී තිබේ.
ඔක්තෝබර් 9 වනදා සිට 16 වනදා දක්වා සිදුකෙරෙන මෙම සංචාරය වෙනුවෙන්, මේ වනවිට තලේබාන් නායකයින්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.
ආරක්ෂක මණ්ඩලයේ එම තීරණය ඇෆ්ගන් විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ වැදගත්කම විදහා දක්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර සහයෝගිතාව සීග්‍රයෙන් වර්ධනය වූ අතර දෙරටේ නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ද පවත්වා තිබේ.