කාසියේ වාසිය ඉන්දියාවට
September 28, 2025 07:33 pm
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (28) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.
ඒ අනුව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළේය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.
වසර 41ක ආසියානු කුසලාන ඉතිහාසයේ ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙය වේ.
මීට පෙර මෙම කණ්ඩායම් දෙක අවස්ථා කිහිපයකදී අවසන් මහා තරග ක්‍රීඩාකර තිබුණත්, එකිනෙකා සමගින් අවසන් තරගයක් ක්‍රීඩාකර නොතිබුණි.
ආසියානු කුසලාන ඉතිහාසයේ අවස්ථා 12කදී ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, පාකිස්තානය අවස්ථා 6කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.
කවදත් ආන්දෝලනාත්මක තරගයක් වූ ඉන්දු - පාකිස්තාන තරගය පිළිබඳ මෙවර වැඩි වශයෙන් අවධානය හිමිවූ තරගයක් විය.
දෙරට අතර පැවති පළමු තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ඉන්දීය නායකයා පාකිස්තාන නායකයාට අතට අතදීම ප්‍රතික්ෂේප කළ අතර, ජයග්‍රහණයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී සූර්යකුමාර් යාදව් සඳහන් කළේ තම කණ්ඩායමේ ජයග්‍රහණය ඉන්දීය යුධ හමුදාවට උපහාරයක් ලෙස පුදකරන බවය.
එවන් පසුබිමක අවසන් තරගයට පෙර කණ්ඩායම් දෙකේ නායකයන් අතර පැවැත්වෙන සාම්ප්‍රදායික ජායාරූප සැසියට එක්වීමද ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.