එළැඹෙන අයවැයෙන් නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂාවයි - ජනපති
September 28, 2025 06:25 pm
මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බව නාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ ගොඩනැඟෙන ආර්ථිකයෙහි, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බවත් එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට අද (28) පස්වරුවේ ටෝකියෝ හි Reiyukai ශාලාවේදී එක් වෙමිනි.
එමෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහු පැවසුවේ ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසටය.
ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
තවදුරටත් ආර්ථිකයේ සහ වෙළෙඳපොළ තුළ ජාතික සීමාවන් නොමැති ලෝකයක, රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම රට ඉදිරියට ගෙන යාමට නම් ජාතික සමගිය නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට තුළ කිසිඳු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක්වන බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සියලුදෙනා අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් අද රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.